‍‍ විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන ‍‍ විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන Best Blogger Tips

ගිරා සන්දේශය


සන්දේශ කාව්‍ය අතුරෙහි මුල් පෙළේ කෘතියක් සේ සැලැකිය හැකි තවත් ප්‍රකට රචනයක් ලෙසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සමයේ ම ලියැවුණු ගිරා සන්දේශය දකින්නට පිළිවන. කෝට්ටේ රාජධානියේ හයවැනි පරාක්‍රමබාහු මහරජුගේ කාලයේ මෙය ලියැවුණු බව අන්තර්ගත තොරතුරුවලින් නිසැක ව ම පැහැදිලි වුණත් මෙහි කතුවරයා කවුරු ද යන්න හෙළිදරව් වන්නේ නැත. එහෙත් කෝට්ටේ පුරවරයේ විහාරයක සිට මේ කෘතිය රචනා කෙරුණු බව හැඟෙන තොරතුරු ඇති බැවින් කතුවරයා භික්ෂූන් වහන්සේ නමක් වූහයි සිතන්නට හැකි වේ.
ගිරා සන්දේශය ‘කීර සන්දේශය’ යනුවෙන් ද හැඳින්වේ. මන්ද යත්, සන්දේශය ආරම්භ වන්නේ ද ‘සැරද කිර රද සඳ’ යනුවෙන් වන බැවිනි. ‘කීර’ යනු ගිරා යන්නට පර්යාය නාමයකි. එහෙත් මේ කෘතිය ප්‍රචලිත ව පවතින්නේ ගිරා සන්දේශය නමින් ය. මෙය ලියැවුණු වර්ෂය ගැන තොරතුරක් සඳහන් නො වේ. එහෙත් මේ කතුවරයා සැළලිහිණි සන්දේශය කියවා එහි ආභාෂය ලබන්නට ඇති බැවින් ඒ කෘතියට පසු ව ද එසේ ම පරාක්‍රමබාහු රජු දිග් විජය කළ විස්තර සහිත රජුගේ වීර වික්‍රම ක්‍රියා පැවසෙන බැවින් රාජ්‍ය කාලයේ පසු භාගයේ ද මෙය ලියැවෙන්නට ඇති බව සිතිය හැකි ය.
තවද මේ පිළිබඳ ඉතා වැදගත් තොරතුරක් ගිරා දූතයා නික්මුණු නැකත අනුව අනාවරණය වේ. ‘ලද නිදොසින් රිවි දින නැකත දිනකර, කුමරි රැසින් කිවි සුරගුරු සිටි නො හැර’ යනුවෙන් කියැවෙන කරුණ ඡ්‍යොතිෂ ඇසින් බලද්දී එවක බ්‍රහස්පති ග්‍රහයා කන්‍යා රාශියේ සිටීම සහිත ග්‍රහ සංයෝග පරිදි මෙය ක්‍රි.ව. 1460 වර්ෂය වූ බව ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයෝ දකිති.
මේ සන්දේශය යැවෙන්නේ කෝට්ටේ සිට තොටගමුවේ විජයබා පිරිවෙන් විහාරය වෙත ය. එතෙක් ලියැවී තිබූ සන්දේශ ප්‍රකට දෙවියන් සහිත දේවාල සෘජුව අරමුණු කොට ගත්ත ද මේ සන්දේශය යැවෙන්නේ තත්කාලීන ප්‍රකට පඬි හිමි නමක වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් වෙත ය. “කඳවුරු ගම් කුල... උතුරු මුළ මහ තෙරිඳුට මුනුබුරු කිවිකුල මුදුන්මල් විජයබ පිරුවන් තෙරිඳු’ ආදි වශයෙන් කියැවෙන තොරතුරු අනුව ඒ බැව් අනාවරණය වේ.
මෙහි පරමාර්ථය වී ඇත්තේ ශ්‍රී පරාක්‍රමබාහු මහරජතුමාත් මුළුමහත් දිවයිනත් සුරකින ලෙස නාථ දෙවිඳුන් අයැද සිටින ලෙස ශ්‍රී රාහුල හිමිපාණන් වෙත සැළකර සිටීමයි. මෙහි ‘නතිඳු’ යනුවෙන් නාථ දෙවියන් හැඳින්වී තිබේ. මතු බුදුවන මෛත්‍රය බෝධිසත්වයන් යැයි සැලකෙන නාථ දෙවියන්ට වන්දනාමාන කිරීම මෙවක වන විට ප්‍රචලිත පැවැති අයුරු මෙයින් පෙනේ.
මේ පොත ලියැවෙද්දී දෙවියන් යැදීම උදෙසා වූ විශේෂ කාරණයක් තිබූ බව පෙනෙන්නට නැත. එබැවින් රජතුමා සහ රාහුල හිමියන් වර්ණනා කිරීම මෙහි අභ්‍යන්තර පරමාර්ථය වූ බැව් සිතිය හැකි ය. වෙනත් කිසිදු සන්දේශයක නො පැනෙන පරිදි ශ්‍රී පරාක්‍රමබාහු රජුන් වර්ණනා කරන කතුවරයා ඒ සඳහා දූතයා නික්මෙන අවස්ථාව, අම්බලමේ පිළිසඳර සහ සන්දේශය ඔප්පු කිරීම යන අවස්ථා තුනක් උපයෝගී කොට ගනී.
රාහුල හිමි වර්ණනය ද නො මඳ ව කරන මේ කතුවරයා ඒ හිමිපාණන් වෙත සන්දේශය යැවුවේ උන්වහන්සේගේ ශිෂ්‍යවරයකු නැතහොත් බොහෝ ළැදි යතිවරයෙකු වූ නිසා වන්නට ඇත. කතුවරයාණන් අගනුවර ආසන්නයේ විහාරයක විසූ වග දූතයා ගුවනට නික්මුණු පසු ‘අවුත් සොඳුරු විසිතුරු මේ වෙහෙර තුර’ යැයි පැවැසීම අනුව පෙනේ. මෙය පැපිළියාන පිරිවෙන් විහාර වර්ණනයට කලින් එන සඳහනක් වන බැවින් මෙකී විහාරය කෝට්ටේත් පැපිළියානත් අතර පිහිටියා වූ ස්ථානයක් බව පැහැදිලි ය.
ගිරා සන්දේශය පද්‍ය 248කින් ද ගද්‍ය පාඨ 6කින් ද සමන්විතය. පද්‍ය අතුරෙහි ගී විරිතින් ලියැවුණු පද්‍ය 9ක් ද දසපද සැහැලි 11ක් ද ඇතුළත් ය. අනිත් පද්‍යවලින් වැඩි සංඛ්‍යාව සමුද්‍රඝෝෂ විරිතින් ලියැවී ඇතත් වරින් වර වෙනත් විරිත්වල සිවුපද කවි දකින්නට පිළිවන.
ගද්‍ය පාඨ සංස්කෘත ශබ්ද බාහුල්‍යයෙන් යුක්තය. ‘විශිෂ්ට පක්ෂ පත්‍ර විචිත්‍ර පවිත්‍ර චාරිත්‍ර ඇති මිත්‍රෝත්තමය’ වැනි යෙදුම් ඒවායේ දැකිය හැකිය.
කෝට්ටේ සිට තොටගමුව කරා යන ගමනට රාත්‍රී තුනක් ගත වේ. ඉරු දිනක සවස් භාගයේ ගමන අරඹා අති බැවින් නුදුරේ පිහිටි පැපිලියාන සුනේත්‍රා මහා දේවී විහාරයේ පළමු රාත්‍රිය ගත කිරීමට ගිරා දූතයාට සිදුවේ. පසුදින ගමන් මඟ විහිද යන්නේ අත්තිඩිය, මොරටුඑළිය, පාණදුරේ, පොතුපිටිය, කළුතොට හරහා ය.
මෙය පරෙවි දූතයා ද පියාසර කළ මාවතයි. මයුර සන්දේශය කෝට්ටේ පසු කොට සල්පිටි වෙල මැදින් ගොස් රයිගම්පුරය හරහා රැගෙන යන්නේ රයිගම මහත් උත්කර්ෂයෙන් වර්ණනා කරමිනි. එහෙත් පරෙවියා මෙන් ම ගිරාව ද ඒ මාර්ගය මඟ හැර මුහුදුබඩ පාරෙන් කළුතර දක්වා යැවුණේ මන්දැයි යන්න විමසා බැලිය යුතුª කරුණකි.
මේ කතුවරයා සැළලිහිණි සන්දේශයෙන් ලද ආභාෂය සහිත ව මෙය රචනා කරන්නට ඇතැයි හැඟෙන අවස්ථා බොහොමයක් මෙහි දකින්නට පිළිවන. දූතයාට නික්මීම සඳහා නැකතක් ප්‍රකාශ කිරීම, සුබ නිමිති බැලීම, ඒ ගමන් මඟෙහි ම යෑම ආදී කරුණු පමණක් නො ව ‘ජයවද්දන පුරවර මෙය දනු මිතුර’ එහසුන් මතු කියමි, වයියා කරන් මනරම් පල රව් හිසින් ආදී යෙදුම් ද ඒ බවට ඉඟි කරයි.
එසේ වුවද ගිරා සන්දේශය යනු අනුකරණී කෘතියක් නො ව කතුවරයාගේ කවීත්වයත් ස්වීය නිර්මාණ ශක්තියත් පළට කරන නිර්මාණයකි. අම්බලමේ සංවාදය පමණක් නොව තොටගමු වැනුම, තොටගමු විහාර වැනුම, පිරිවෙන්පති හිමි වැනුම ආදියෙහි දී ද දක්වන්නේ මහත් චාතුර්යයකි. විහාර වැනුමෙහි එන ශාන්ත ගුණය සහිත සුන්දරතර බව වටහා ගැනීමට මේ කවිය ප්‍රමාණවත් ය.
”තුරු යටියෙන් හුණු පැටි ලෙහෙනුන් රැගෙන
සිතු අටියෙන් පිඹ ඇඟ පිරිමැද සෙවෙන
මල ගෙටියෙන් පැන් පොවමින් අතිනතින
සිටි පැටියෙන් හෙරණුන්ගෙන් වෙයි සොබන’
එවක පිරිවෙනක කෙරුණු අධ්‍යයන කටයුතු කෙසේ වී ද යන්න පිළිබඳ පුළුල් හැදෑරීමක් කිරීමට ගිරාවේ පිරිවෙන් වැනුමෙන් ලැබෙන්නේ මනා පිටිවහලකි. අභිධර්ම, සූත්‍ර, විනය, ව්‍යාකරණ, වේදාර්ථ, තාරකා විද්‍යා, වෛද්‍ය ශාස්ත්‍ර, අර්ථශාස්ත්‍ර ආදී වශයෙන් එක් කවියකින් එක් විෂයයක් බැගින් විග්‍රහ කර පෙන්වා දෙනු දැකිය හැකි ය.
ගිරා සන්දේශයෙහි ද පොදුවේ දකින්නට ලැබෙන්නේ අනෙකුත් සන්දේශවල එන වර්ණනා ආදිය වුවත් ගිරා කතුවරයා සිය නිසඟ හැකියාව පළ කරන ප්‍රතිභාපූර්ණ කවියෙකු ගේ ලක්ෂණ විදහා පායි. සිය අත්දැකීම් හෙවත් ඇසූ පිරූ දෑ මෙහෙයවමින් ස්වාභාවික ගුණය පළට කරමින් සිත් පිනවන රසවත් පැවැසුම් ඔහු අතින් ලියැවී ඇත. වදන් සරල වුවද හැඟුම් අරුත්බරය. කතුවරයාගේ වාග් මාලාව පොහොසත් ය. එයින් නිරූපණය කෙරෙන අදහස් ප්‍රාණවත් ය.
සැළලිහිණියේ ගුණාත්මක භාවයට ආසන්න වූ වටිනාකමක් ගිරා සන්දේශයෙන් ද මූර්තිමත් වේ. සැළලිහිණියේ කවි ප්‍රමාණයට වඩා දෙගුණයකටත් වැඩි කවි ප්‍රමාණයක් මෙහි වෙතත් ඒවා බෙහෙවින් සරුසාර නිර්මාණ වේ. ගිරා සන්දේශය සැළලිහිණි සන්දේශය මෙන් ම කෝට්ටේ යුගය බබළවන ප්‍රභාමත් කෘතියකි.

බුදු ගුණ භාවනාව


අරහං බුදු ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක, සියලු පාපයන්ගෙන් මිදුණ සේක, සියළු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක, එමනිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක. අරහං නම් වන සේක. අරහං නම් වන සේක.
සම්මා සම්බුද්ධ ගුණය
මාගේ ස්වාමී වූ බදුරජාණන් වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ නැතිවම තමාගේ නුවණින් අවබෝධ කොට ගත් නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක.
විජ්ජාචරණසම්පන්න ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අනන්ත ඥානයෙන්ද, අනන්ත ශීලයෙන්ද, අනන්ත සමාධියෙන්ද, අනන්ත ගුණයෙන්ද, අනන්ත ප්‍රඥාවෙන්ද, අනන්ත විමුක්තියෙන්ද, සමන්විත වන නිසා විජ්ජාචරණසම්පන්න වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක.
සුගත ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සුන්දර නිවන් මග අවබෝධ කොට සුන්දර නිවනට වැඩමකළ නිසා සුගත නම් වන සේක. සුගත නම් වන සේක. සුගත නම් වන සේක.
ලෝකවිදු ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු බඹ ලොවද, සියලු දෙව් ලොවද, මිනිස් ලෝකයද, ප්‍රේත ලෝකයද, තිරිසන් ලෝකයද, නිරයද, දස දහස් සක්වළද, සැබෑ තත්වය අවබෝධ කොට එම සියලු ලෝක වලින් නිදහස් වුණු නිසා ලෝකවිදු වන සේක. ලෝකවිදු වන සේක. ලෝකවිදු වන සේක.
අනුත්තර පුරිසදම්මසාරථී ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දමනය කළ නොහැකි බ්‍රහ්මයන්, දෙවියන්, මිනිසුන්, ඇතුළු සත්වයන් මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන්, ප්‍රතිහාර්යයෙන් දමනය කර සැනසීම ලබාදීමට කටයුතු කළ නිසාද, සත්වයන් දමනය කරන්නන් අතර ලෝකයේ අග්‍ර වූ නිසාද, අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක.
සත්තා දේව මනුස්සානං ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ නුවණ ඇති දෙව් මිනිසුන්ට, මෙලොව දියුණුව පිණිසද, පරලොව සුගතිය පිණිසද, උතුම් නිර්වාණාවබෝධය පිණිසද, ශ්‍රී සද්ධර්මය මහා කරුණාවෙන් දේශනා කොට වදාල නිසා සත්තා දේව මනුස්සානං වන සේක. සත්තා දේව මනුස්සානං වන සේක. සත්තා දේව මනුස්සානං වන සේක.
බුද්ධ ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරන ලද උතුම් ධර්මය අන් අයටද අවබෝධ කර ගැනීම පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නිසා බුද්ධ වන සේක. බුද්ධ වන සේක. බුද්ධ වන සේක.
භගවා ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියළු සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්‍ය ඇති නිසා භගවා වන සේක. භගවා වන සේක. භගවා වන සේක.

සරලව ඉංග්‍රීසි ඉගෙන ගනිමු



මෙහි සදහන් පාඩම් මාලාවන්වල සිංහල වාක්‍යයන් සදහන් කර ඇත්තේ ඉංග්‍රීසි වාක්‍යයේ අදහස මනාව තේරුම් ගැනීම සදහා පමනි.

නාමපදයකට ක්‍රියාපදයක් එකතුවීමෙන් සරල වාක්‍යයක් සෑදීම

නාමපදයකට ක්‍රියාපදයක් එකතුවීමෙන් සරල වාක්‍යයක් සෑදෙයි.
1). බල්ලා බුරයි.
Dog barks.
2). වෛද්‍යවරයා පැමිණෙයි.
Doctor comes.
3). මල් පිපේ.
Flowers bloom.
4). මව්වරු විශ්වාස කරති.
Mothers trust.
5). මදුරුවෝ කනවා.
Mosquitoes bite.

නාමපදයක අගට "s" අකුරක් යෙදෙන්නේ බොහෝ විට බහුවචන අවස්ථාවේ දී ය.
Ex- Flowers
ක්‍රියාපදයක් අගය "s" අකුරක් යෙදෙන්නේ බොහෝ විට ඒකවචන අවස්ථාවේ දී ය.
Ex- comes, barks
කතෘ ඒකවචන නම්, ක්‍රියාවේ අගට "s" අකුරක් යොදා ක්‍රියාවද ඒකවචන කළ යුතුය.
If the Subject is singular the Verb should be singular too.
Ex- Dog barks.
කතෘ බහුවචන නම්, ක්‍රියාවද බහුවචන විය යුතුය. එනම් ක්‍රියාව අගට "s" අකුරක් නොමැතිව තැබිය යුතුය.
If the Subject is plural the Verb should be plural too.
Ex- Mothers trust.
Examples -
1). අපි බලාපොරොත්තු වෙනවා.
We hope.
2). ඔහු වැඩකරනවා.
He works.

ඉහත සරල වාක්‍ය රටාවට දැන් තවත් පද එකතුකරමු

1). අම්මා බත් උයනවා. - Mother cooks rice.
2). තාත්තා මට බනිනවා. - Father scolds me.
3). ඔයා කාලය නාස්ති කරනවා. - You waste time.
4). අපි ඔවුන්ට උදව් කරනවා. - We help them.
5). මගේ තාත්තා වැඩ කරන්නේ කොළඹ. - My father works in Colombo.
6). ගුරුවරයා පඩම ඉගැන්නුවා. - The teacher taught lesson.
7). අපි කෑමට පසු වතුර බොනවා. - We drink water after meal.
8). ඔහු වාර්තාව කැඩුවා. - He broke the record.
9). මම රස්සාවක් කරනවා. - I do a job.
10). ඔහු ගමන් කරන්නේ කෝච්චියෙන්. - He travels by train.

කොසොල් රජු දුටු සිහින


බුදු දහමේ සදහන් කොසොල් රජු දුටු සිහින දහසය සහ එම සිහිනයන් බුදුරදුන් විග්‍රහ කොට වදාල අයුරු පහතින් දැක්වෙයි. බුදුරදුන්ගේ දේශනාවට අනුව එම සියළුම සිහනයන්ගේ විපාක අනාගතයේ දී සිදුවන්නක් බව දේශනා කොට ඇත.

කොසොල් රජු දුටු සිහින

1 වන සිහිනය

කොසොල් රජු -
"කළුපාට වෘෂභයෝ සතර දෙනෙකු යුධ කරන්නේ යැයි සතර දිශාවෙන් රාජාංගනයට පිවිසෙයි. උන් එනවිට නරඹන්නෝ මහා උද්යෝගයකින් ජය ඝෝෂා පවත්වමින් වට වී බලා සිටී. වෘෂභයෝ සතර දෙනා යුධ කරන අයුරක් දක්වා නාද කොට ගර්ජනා කොට යුධ නොකර ඉවත්ව ගියහ. ඔල්වරසන් දුන් නරඹන්නෝ වෘෂභ යුද්ධය බලන්නට බැරිව හොදටම දුක්වුණා"
බුදුන් වහන්සේ -
අනාගතයේ අධාර්මික පාලනය නිසා රටේ දේශගුණයත් කාලගුණයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කළට සිදුවන සිදුවීමක් පිලිබදව මෙයින් කියවේ. අනාගතයේ මිනිසුන් අදැහිමි වී මුදලට මුල් තැනක් දෙයි. වනාන්තර කපා පරිසරය ද විනාශ කරයි. මේ හේතුව නිසා නිසි කලට වැසි නොලැබේ. මහා ශබ්දයෙන් අහස ගෙරෙව්වත් වැස්ස නොලැබෙයි.

2 වන සිහිනය

කොසොල් රජු -
"රජමාලිගාවේ මිදුලේ වියතක් දෙකක් පමණ උස පුංචි ගස්වල මල් පීදිලා. ලොකු ලොකු ගෙඩි හටගෙන"
බුදුන් වහන්සේ -
අනාගතයේ පංච දුශ්චරිතයේ නිරත වෙමින් මිනිසුන් කටයුතු කරයි. පුංචි දරුවන් වැඩිහිටියන් සේ වැඩ කටයුතු කරයි. කුඩා වයසේදීම ගැහැනුන් රාගයෙන් පිනා ගොස් ආවාහ විවාහ වෙති.

3 වන සිහිනය

කොසොල් රජු -
"එදින ඉපදුණු වහුපැටියාගෙන් මව් එළදෙන කිරි බොනවා දුටුවා"
බුදුන් වහන්සේ -
අනාගතයේ පහළ වන දූ දරුවෝ මව් පියන්ට අකීකරු වෙති. ලැජ්ජා බිය නොමැතිව කටයුතු කරයි. වැඩිහිටියන්ට ගරු නොකරන නොසලකන සමාජයක් අනාගතයේ බිහිවෙයි. ඒ වාගේම දෙමාපියන්ට තම දරුවන් ළග දාසයන් මෙන් සේවය කොට ඔවුන්ගෙන් යැපෙන්නට සිදුවෙනවා. තමන්ට එහෙම උදව් කරන්නේ නැත්නම් දරුවන් තම දෙමාපියන්ට සලකන්නේ වත් නැහැ.

4 වන සිහිනය

කොසොල් රජු -
"මහ ගැල්වල පළපුරුදු නැති ළපටි ගොනුන් බැද තිබුණා. එම ළපටි ගොනුන්ට ගැල් ඇද ගන්න බැරිව ගැල් ටික ඔක්කොම නතර වෙලා තිබුණා"
බුදුන් වහන්සේ -
අනාගතයේ දැන උගත්කම් නැති මැති ඇමති වරු පාලන තන්ත්‍රයට පත්වෙයි. දස්කම් ඇති බුද්ධිමත් අයට තැන නොලැබෙයි. දැන උගත්කම් නැති නූගත් අය පාලන තන්ත්‍රයට එක්වීම නිසා රටේ පාලන තන්ත්‍රය අවුල් වෙයි.

5 වන සිහිනය

කොසොල් රජු -
"පසු පසින් දිග බෙල්ලක් ඇති, ඔළු දෙකක් ඇති අශ්වයෙකු දුටුවෙමි. එම අශ්වයා දෙපසින්ම ආහාර අනුභව කරයි"
බුදුන් වහන්සේ -
අනාගතයේ ලෝකය පාපයටම බරවෙයි. අනාගතයේ මිනිසුන් ලැජ්ජා බියකින් තොරව අල්ලස් හා දූෂණයට පෙළබෙති. මෙය පාලන තන්ත්‍රය තුලද ඉහල සිට පහලටද, පහල සිට ඉහලටද සිදුවෙයි.

6 වන සිහිනය

කොසොල් රජු -
"මහලු ජරාපත් හිවලෙකු ඉතා වටිනා රන් තලියකට මූත්‍රා කරයි. මිනිසුන් ඒ දෙස කිසිවක් නොකර බලා සිටියි"
බුදුන් වහන්සේ -
සම්භාවනීය වශයෙන් සැලකෙන මිනිසුන් අනාගතයේ දී සම්පත් වලින් පිරිහී යනවා. මෙසේ පරම්පරාවෙන් උරුම වූ වස්තුව අහිමි මිනිසුන් තමන්ගේ දූ දරුවන් සුරා සූදුවට ලොල් වූ අයතා ලෙස ධනවත් වූවන්ට සරණ පාවා දෙනවා.

7 වන සිහිනය

කොසොල් රජු -
"දුප්පත් මිනිසෙකු අසුනකට වී සම් පටක වලින් ලණුවක් අඹරමින් එම ලණුව පහත හෙලයි. එම අසුන යට සිටින හිවල් ධේනුවක් ඒ මිනිසා විසින් අඹරන ලණුව කා දමයි. නමුත් ඒ මිනිසා ඒ බව නොදනි"
බුදුන් වහන්සේ -
අනාගතයේ මිනිසුන් අතර කාම මිථ්‍යාචාරය බහුල ‍වෙනවා. අනාගතයේ ස්ත්‍රීන් තම සැමියා දහඩිය මහන්සියෙන් උපයන ධනය සොර සැමියන්ට දෙනවා. එම ස්ත්‍රීන් සාර ධර්ම හා සදාචාරය නොතකා තම සිරුර පිනවීමට ම පමනක් සිතයි. තවද බොහෝ කාන්තාවෝ තම සැමියා උපයන ධනය අර පිරිමැස්මෙන් තොරව විනාශ කරයි.

8 වන සිහිනය

කොසොල් රජු -
"මාළිගාවේ මිදුල පුරා කළ ගෙඩි අතුරා තිබුණා. සතර දිගින් එන ස්ත්‍රී, පුරුෂයන් පිරී ඉතිරී පිටාර ගලමින් තිබෙන එකම කළයකට වතුර පුරවනවා. හිස් කළ එසේම තිබෙනවා"
බුදුන් වහන්සේ -
අනාගතයේ පාලකයන් රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් ‍නොකිරීම නිසා ජනතාව අතිශයින් දිළින්දන් බවට පත්වෙයි. එවිට රජය ජනතාව වෙත තව තවත් බදු බර පටවනවා. ධනවතුන් තව තවත් ධනවත් ‍වෙනවා. දුප්පතුන් තව තවත් පීඩනයට පත්කෙරෙනවා.

9 වන සිහිනය

කොසොල් රජු -
"පස් පියුමෙන් පිරි පොකුණක වටේ හිද වන සතුන් ජලය පානය කරති. ස්නානය කරති. එහෙත් පොකුණ මැද ජලය පමණක් අපිරිසිදු වෙයි"
බුදුන් වහන්සේ -
අනාගත රාජ්‍ය පාලකයෝ අධර්මිෂ්ට වීම නිසා බදු බරින් ජනතාව පීඩාවට පත්කරති.

10 වන සිහිනය

කොසොල් රජු -
"ලිපක් මත මහ බත් සැළියක් දුටුවා. ඒ සැළියේ පැත්තක නො පිසුන සහල් ද, තවත් පැත්තක බෙරි වූ බත් ද, තවත් කොටසක නිසි සේ ඉදුණු සහල් ද තිබෙන අයුරු මම දුටුවා"
බුදුන් වහන්සේ -
අනාගත පාලකයින් අධාර්මික වීම නිසා රට තුල නිසි කලට වැසි නොලැබේ. වැස්ස ලැබුනත් එම වැස්ස වහින්නේ සෘතුවලට අනුව නො වෙයි. කඩින් කඩ තැනින් තැන වහිනවා. තවත් පැත්තක හොදටම පායනවා. තවත් පැත්තක වහ වැසි ඇද හැලෙනවා. එහෙම වුණහම ඔවුන්ගේ අස්වැන්න සමහර තැනක බොල් වෙනවා. සමහර තැනක නියගයට හසුවෙනවා. සමහර පෙදෙසක හොද අස්වැන්නක් ලැබෙනවා.

11 වන සිහිනය

කොසොල් රජු -
"ඉතා වටිනා අනර්ඝ සදුන් අරටුවක් නරක් වූ මෝරු සැළියකට අලෙවි කරනවා දුටුවා"
බුදුන් වහන්සේ -
අනාගතයේ පුද පූජා සත්කාර වලට ගිජු වූ භික්ෂූන් නිසා ශ්‍රමණ ප්‍රති රූපකයක් බහුල වී ශාසනය පිරිහෙයි. අනාගතයේ මගේ බුද්ධ සාසනයේ බොහෝ භික්ෂූන් ලාභ සත්කාර අපේක්ෂාවෙන් ධර්මය දේශනා කරනවා. පස්කම් සැප ලබාගැනීම සදහා සිවුරු දරනවා. ශාසනයේ වටිනා කොටස් නොවටිනා අයුරින් අලෙවි වෙනවා.

12 වන සිහිනය

කොසොල් රජු -
"ඉතා සැහැල්ලු ලබු කබල් දියෙහි පාවෙන්නේ නැතිව බර වස්තුවක් මෙන් දියෙහි ගිලෙන අයුරු මම දුටුවා"
බුදුන් වහන්සේ -
අනාගතයේ සුදුස්සන්ට මැති ඇමතිකම් නො දී පහත් ගති ඇත්තන්ට ඇමතිකම් හා නිලතල ලබාදෙයි. ඒ හේතුව නිසා රාජ සභාව හිස් කථාවලින් පිරී යනවා. තවද විහාර ආරාම පූජනීය ස්ථාන වලද හිස් දේවල් ම රජ ‍වෙනවා. මිනිස් සිත් තුල හිස් දේවල්ම රජ වෙනවා.

13 වන සිහිනය

කොසොල් රජු -
"මහා විශාල කළු ගල් ජලය මතුපිට පාවෙනවා දුටුවා"
බුදුන් වහන්සේ -
අනාගතයේ පාලකයෝත් ප්‍රජාවත් උගතුන්ගේත්, බුද්ධිමතුන්ගේත්, වියත් සිල්වත් හිමිවරුන්ගේත් උසස් කථා අගය කොට සලකන්නේ නැහැ. ඔවුන් විසින් උගත් බුද්ධිමතුන් නොසලකා හරිනවා. රාජ්‍ය සභාවේත්, රටේ හැම තැනකමත් යහපත් අයගේ අදහස් නොසලකා හරිනවා.



14 වන සිහිනය

කොසොල් රජු -
"ඉතා කුඩා මැඩියන් විශාල කළු නාගයන් පස්සේ පන්නමින් අල්ලා ගෙන අඹුල දඩු වගේ මුරු මුරු ශබ්දයෙන් කනවා දුටුවා"
බුදුන් වහන්සේ -
අනාගතයේ මිනිසුන් වඩ වඩාත් රාගාධික වෙනවා. වයසට ගිය පුරුෂයන් අඩු වයසේ ස්ත්‍රීන්ට හසුවනවා. ඒ ස්ත්‍රීහුත් දේපල වලට ධනයට ආසාවෙන් වියපත් පුරුෂයින් සමග විවාහ වෙනවා. සියලු සම්පත් එම ස්ත්‍රීන් විසින් පවරා ගෙන වියපත් ස්වාමි පුරුෂයන්ට නිග්‍රහ කරමින් ඔවුන් තමන්ගේ වසගයට ගන්නවා.

15 වන සිහිනය

කොසොල් රජු -
"කපුටෙකු ඉතාමත් ලස්සන ස්වර්ණ හංසයන් පිරිවරාගෙන සිටිනවා දුටුවා"
බුදුන් වහන්සේ -
අනාගතයේ පහත් වැඩ කරන දාමරිකයන්, මිනීමරුවන්, සොරුන් වැනි හීන මිනිසුන්ට පාලකයින් විසින් සම්භාවනීයත්වය දෙන නිසා ඒ අය ඉහළින් වැජඹෙනවා. ඒනිසා උගතුන්ට, බුද්ධිමතුන්ට ඹවුන්ගේ යටතේ සිටීමට සිදු වෙනවා.


16 වන සිහිනය

කොසොල් රජු -
"එළුවන් විසින් රුදුරු ව්‍යාඝ්‍රයන් පසු පස එලවා ගොස් උන්ව ගොදුරු කර ගන්නා ආකාරය දුටුවා"
බුදුන් වහන්සේ -
අනාගතයේ දී පහත් ගති ඇති අයට රජයෙන් වරප්‍රසාද ලැබෙන නිසා මිනිසුන්ට පාරම්පරිකව අයිති ඉඩම් කඩම් ඔවුහු විසින් කොල්ල කනවා. මිනිසුන් අධිකරණයේ පිහිට සෙවීමට ගිය කල්හි ඔවුන්ට මේ දාමරිකයන්ගෙන් තාඩන පීඩන විදීමට සිදු වෙනවා. අත පය කපා ගැනීමට ද සිදු වෙනවා. ජීවිතය ආරක්ෂා කර ගැනීම සදහා ඔවුහු තම ඉඩම් කඩම් වල ආසාව අත් හැර ඒවා දාමරිකයන්ටම දෙනවා. සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා ද අධාර්මික දුස්සීලයනට බලයත් ඉහල තනතුරුත් දැරීමට ඉඩ දී නිහඩව සිටිති.


මිනිස් සමාජයේ උපත


විශ්‍රාමික විදුහල්පති, උඩුබද්දාවේ
සිරිසේන ලංසකාර

මුළු ලෝක ධාතුවම ගිනි අවුළුවා විනාශ කිරීමට තරම් මහා බලයක් ඇති ඊර්ෂ්‍යාව නමැති ගිනි පුපුර නිවා දැමීමට නම් මිනිස් සිත දහම් සිසිලෙන් සැනසිය යුතුය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඉහ වහා ගිය පිරිස් මේ ලොවට සිදුකරන විනාශයන් සද්පුරුෂ ජනතාවට වැටහී යනු ඇත. ගොවිතැනක් ධාර්මික වෙළෙඳාමක් කරගෙන දියුණුවීමට උත්සාහ කරන කෙනකුට ළඟපාත අයගෙන් බාධා පැමිණෙන හැටි ඔබටත් පැහැදිලිව පෙනෙනවා ඇති.

කල්ප ආරම්භයේ දී මේ මහ පොළොවෙහි වැජඹුණු පිරිසුදු මිනිස් සමාජයක් ගැන ත්‍රිපිටකයෙහි දික් සඟියේ එන අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙයි. බඹ ලොවෙන් පැමිණි ඒ පිරිසුදු සත්වයන් පිළිබඳත් මේ දක්වා මිනිස් සමාජයක් ඇතිවූ ආකාරයත් දැක්වෙන මෙම කල්පාරම්භ කතා පුවත විමසිල්ලෙන් බලමු.
ලෝකය හා සත්වයාගේ ආරම්භය කෙසේ වීද යන්න තේරුම් ගන්නට බොහෝ චින්තකයෝ උත්සාහ කර ඇත්තාහ.


බුදුරජාණන් වහන්සේ ද මේ පිළිබඳ අදහස් දැක්වූ අතර වැඩි උනන්දුවක් දක්වා නැත. මෙය විමුක්තියට අදාළ කරුණක් නොවන නිසාය. වඩා උනන්දු විය යුත්තේ දුක පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට බවයි උන්වහන්සේ දේශනා කර ඇත්තේ. කෙසේ වෙතත් මේ මහ පොළවේ මිනිස් සමාජයක් ඇතිවූ ආකාරය ත්‍රිපිටකයේ දික් සඟියේ අග්ගඤ්ඤ සූත්‍රයේ දක්වා ඇති ආකාරය පුදුමාකාරය.
කල්පාරම්භයේ මේ ලොව එකම දිය කඳක්ව තිබුණි. මහ ඝන අඳුරකින් වැසී තිබුණි. හිරු සඳු දක්නට නොතිබුණි. රෑ දාවල් කියා දෙයක් තිබී නැත. පිරී තිබූ දිය කඳ සිඳී ගොස් ඒ මත්තෙහි කිරි යොදයක් මෙන් පොළොව මතුපිට වර්ණයෙන්, සුවඳින්, රසයෙන් යුත් තට්ටුවක් ඉතිරි වී තිබුණි. වෙඬරු ඇතුරූ කලක් මෙන් විය. මෙසේ රස පොළොවක් පහළ වීය.
මේ කාලය වනවිට බඹ ලොවින් පැමිණි අතිපිරිසුදු සත්ව කොට්ඨාසයක් විය. ඔවුන් තුළ ස්ත්‍රී පුරුෂ භේදයක් නොතිබුණි. සිත් තුළ කාම රාග නොතිබුණු බවයි පෙන්වා දී ඇත්තේ. තරහ, ව්‍යාපාදය හෙවත් ද්වේශය ඔවුන් අතර දක්නට නොවීය. සිත් සඳරැස් මෙන් නිර්මල විය. බබළන සුළු විය.
මෙම බ්‍රහ්ම වර්ගයාට තිබුණේ හොඳ පැහැදිලි මනැසකි. විදුලි පහන් මෙන් තමන්ගේ ශරීර බබුළුවාගන්ට ඔවුන්ට හැකියාව තිබුණි. විනිවිද පෙනෙන ශරීර ඇති ඔවුහු නිතර අහසේ එහා මෙහා සැරිසැරූහ. ස්ත්‍රී පුරුෂ සම්බන්ධයක් නැත. අඹු දරු පෝෂණයක් ද නැත. ඔවුන් ජීවත් වූයේ ප්‍රීතිය ආහාරය කොටගෙනයි.
මෙසේ දීර්ඝ කාලයක් ගතවීගෙන යද්දී පෙර පින්බල ශක්තියේ හැටියට ඔවුන් තුළ උස් පහත්කම් බලපාන්නට විය. සමහරෙක් මහ පිනැතිව අතිමහත්වූ තේජසින් දීප්තියෙන් බැබළුණාහ. පින් අඩු අය පින් වැඩි අය දෙස බැලුවේ නරක් වූ සිතින් යුතුවයි. අනුන්නේ සැප සම්පත් නොඉවසන ස්වභාව හෙවත් ඊර්ෂ්‍යාව මෙලොවට පහළ වූයේ මෙතැනදි බවයි පෙනී යන්නේ.

මෙම අධිමානය, ඊර්ෂ්‍යා සහගත සිතුවිලි නිසා ඔවුන්ගේ ශරීර ප්‍රභාව බබළන ගතිය, පිබිදුණු මුහුණු, අහසින් ගමන් කරන්නට තරම් තිබුණු බල ශක්තිය ක්‍රමයෙන් පිරිහී විනාශ වන්නට විය. තවත් දිගු කාලයක් ගතවීමේදී පොළොවේ දෙපයින් ඇවිදින සත්ව කොටසක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වූහ.

අග්ගඤ්ඤ සූත්‍රයේ දක්වා ඇති හැටියට ඉර හඳ පහළ වුණේ තවත් කල්ප කාලාන්තරයකට පසුවයි. පොළවේ පඨවි රසය ආහාරය වශයෙන් භාවිත කරන්නට පටන් ගත් නමුත් තවත් කෙලෙස් වැඩෙන්නට වැඩෙන්නට පඨවි රසය ද හීන වන්නට විය. පොළොවේ හටගත් බිම් හතු වර්ග ද, අනතුරුව භද්‍රලතා නම් වැල් වර්ගය ද ආහාර වශයෙන් ගන්නට සිදුවිය.
තවත් දීර්ඝ කාලයක් ගතවනවිට බිමෙහි ඉබේ හටගත් ස්වයංජාත හැල් සහලින් ජීවිත පවත්වා ගෙන යන්නට වූහ. මෙසේ ආහාර පවා වෙනස් ආකාරයක් ගනිද්දී ශරීරවල වෙනස්කම් ද ඇතිවිය. මළ මුත්‍ර හට ගැනීම නිසා පිට කිරීමට දොරටු අවශ්‍ය විය. ගැහැනු පිරිමි භේදයක් ආරම්භ වූයේ මේ අවස්ථාවේ බවයි සඳහන් වනුයේ.
මෙසේ බොහෝ කල් ගතවීමේදී සත්වයාගේ ශරීර හැදී වෙනස් වෙමින් පැවැතුණි. ස්ත්‍රී සත්වයා දුටු පුරුෂ සත්වයාගේ සිතෙහි කාම රාගය උද්දීපනය වීමෙන් ස්ත්‍රී, පුරුෂයන් ලෙස එක්වී කම් සුව විඳීමට පටන් ගැනීම ද සිදුවිය. මෙම කම් සුව විඳීම අනෙක් අයගෙන් වසන් වී සිදුකර ගැනීමට අවශ්‍යවූ නිසා නිවෙස් සාදා ගැනීමද සිදුවිය. ගෙවල් දොරවල්, බඩු භාණ්ඩ තනාගෙන මහ පොළාවේ පදිංචිවීම ආරම්භවීමත් සමඟ සිිත කිලිටි කරන ඊර්ෂ්‍යාව, අනුන්ගේ සැප ඉවසන්නට නොහැකිවීම වැනි ගති ලක්ෂණ මේ මිනිස් සත්වයන් තුළින් විද්‍යමාන වන්නට විය. තමන් උසස්කොට තැකීමත් අනුන් පහත් කොට තැකීමත් නිසා අධික මානය, තෘෂ්ණාව, කාම රාගය වැනි කිලිටි සිතුවිලි උත්සන්න වන්නට විය. තරගකාරී ලෙස ජීවත්වීමේ අඩිතාලම වැටෙන්නට වූයේ මේ අවධියේ සිට බවයි සඳහන් වන්නේ.
වඩ වඩාත් රස බොජුන් සොයන්නට වීම නිසා අනුන්ගේ දේ පවා ගැනීමට පෙළැඹුණි. තෘෂ්ණාව, කාම රාගය වඩාත් උත්සන්න වීම නිසා මිනිසා සෑම අංශයකින්ම පහළට වැටුණි. දිගින් දිගටම ආහාරය ලෙස හැල් වී කුඹුරුවල වැවීමට අවශ්‍ය විය. ඒ කාලයේ කුඹුරු මායිම් යොදා වෙන් කරගෙන තිබුණේ නැත. අවශ්‍ය වෙලාවට හැල් වී කඩාගෙන ආහාරයට ගැනීමට ඔවුහු පුරුදුව සිටියහ. මේ අතර මෙම මිනිස් සමාජය විවිධ මතභේදයන්ට තුඩු දෙන තණ්හාධික සිදුවීම්වලට භාජනය විය.
සමහර තණ්හාධික මිනිසුන් වේල් දෙක තුනකට සෑහෙන හැල්වී එකවර ගෙනැවිත් රැස්කර තබා ගැනීමට පටන් ගැනීමත් සමඟ සියල්ලෝම මෙයට පෙළඹුණාහ. වැඩිදෙනෙක් වැඩි වැඩියෙන් රැස් කිරීමට පුරුදුවීම නිසා කෙලෙස් සිතුවිලි තවත් වැඩි විය. මෙම කෙලෙස් සිතුවිලි නිසා හැල් කෙත්වල ස්වයංජාතභාව නැතිවී ගොස් කැඩූ හැල් වී කරල් වෙනුවට නැවත හට ගැනීමක් සිදු නොවුණි. හැල් වී ලබා ගැනීමට මහන්සිවී කුඹුරු ගොවිතැන් කිරීමට සිදු විය.
මේ අයුරින් එදා ආදි කල්පික මිනිස් සමාජයේ පැවැති මහානුභාවසම්පන්න ගති නැතිවී ගිය හැටි සූත්‍ර දේශනාවේ පැහැදිලි කර ඇත. පොදු හැඟීම් නැතිවී ගොස් පුද්ගලිකත්වය සිතට නැඟුණු මිනිසාගේ අද දක්වා සිදුවූ මේ වනස්වීම් දැන් අපට වටහාගන්නට හැකිය. මේවා මෙසේ වෙනස් වන්නට කල්ප ලක්‍ෂ ගණන් ගතවූ බව සිතාගත යුතුයි.
තව දුරටත් කල්ගත වීමේදී එකිනෙකා හැල් කුඹුරු වෙන් කරගෙන මායිම් දමා ගොවිතැන් කිරීමට පටන් ගත්තේ කලින් සඳහන් කළ පස් පවු, දස අකුසල් සිත්වල බලපෑමෙහි ප්‍රතිඵලයක් වශයෙනුයි. මෙහිදී මුලින්ම පටන් ගත්තේ සොරකම බව පෙනී යයි. හැල් කුඹුරු හිමියකු අනෙකාගේ කුඹුරේ සරු ලෙස වැවී තිබුණු හැල් කරල් රහසිගතව සඟවාගෙන තම නිවෙසට ගෙනයෑම සොරකමේ ආරම්භය ලෙස සැලකිය හැකි බවයි පෙන්වා දී ඇත්තේ. මේ දුටු අනෙකකු කුඹුරු හිමියාට ඒ බව කියා අවුලක් ඇති කිරීම මුලින්ම ඇතිවූ කේලාම් කීම ලෙස සලකන්නට හැකිය. මේ විදියට ව්‍යාපාදය වැනි සිතුවිලි දිගින් දිගටම උත්සන්න වෙමින් පැවැතීම නිසා නොයෙක් ආකාරයේ වැරැදි ක්‍රියා වර්ධනය වූ හැටිත් ඒවා අද දක්වා තව තවත් වැඩිවෙමින් පවතින හැටිත් දැකගත හැකිය.
මේ කාලය වනවිට පුද්ගලික අයිතිය රැක ගැනීම, දේපොළ ආරක්ෂා කර ගැනීම, තාඩන පිඩන බලපෑම්වලින් ආරක්‍ෂා වීම, කාටත් අවශ්‍ය වී තිබුණි. වැරැදිකරුවන්ට දඬුවම් දීමටත්, යුක්තිය පසිඳලීමටත් ක්‍රම සොයන්නට අවශ්‍ය විය. රජකු තෝරා ගැනීම සිදුවූයේ මේ අවශ්‍යතා සලකාගෙනය. මහජන සම්මතයෙන් මේ සඳහා සුදුසු අයකු පත් කරගන්නට කවුරුත් කැමැත්තක් දැක්වූහ.
මහා සම්මතයෙන් තෝරාගත් පළමු රජු වූයේ අප මහා බෝධි සත්වයන් වහන්සේ බවයි සඳහන් වන්නේ. එදා මේ සමාජයේ මිනිසුන් අතර සිටි ශක්තිසම්පන්න, ස්ථානෝචිත ප්‍රඥාවකින් යුත්, දර්ශනීය රූප ශෝභාවකින් හෙබි තරුණයා මේ සඳහා තෝරා ගැනුණේ මහා සම්මතයෙනි. මනු නමින් හඳුන්වනු ලැබූ එම ශ්‍රේෂ්ඨ පුරුෂයා මහජන සම්මතයෙන් එදා රජකමට පත්කර ගනු ලැබිණි. බෞද්ධ ඉතිහාසයෙහි මහා සම්මත මනු රජු යනුවෙන් හඳුන්වන්නේ එතුමායි. මොහුගෙන් ආරම්භ වූ මනුරාජ පරම්පරාව වර්ෂ කෝටි ගණනක් මේ මහ පොළොවේ පරම්පරා ගණනාවක් වෙනස් වෙමින් පැවැතගෙන ආ බව පෙනේ.
මිනිසුන් අතර සොරකම පැතිරීයත්ම සත්ව හිංසා තවත් සිදුවිය. ප්‍රාණඝාතය, දුරාචාරය, සුරා පානය, සූදුව ආදී අකුසල් වඩාත් උත්සන්න විය. මිනිසුන්ගේ ආයුෂ ද රූප සම්පත්තිය ද සෙසු කායික මානසික යහපත් තත්ත්වයන් ද පරිහානිය කරා ඇදී යාම සිදුවිය. මේ වනවිට මිනිසාගේ ආහාරය වූයේ ධාන්‍ය වර්ග, එළවළු, පලතුරු ආදියත් පස්ගෝරසයත්ය.
සතුන් මරා මස් කන්නට පුරුදු වීමත් සමඟ විවිධ ලෙඩ රෝගවලට වඩ වඩාත් ගොදුරු වීමද සිදුවිය.
ආදි කල්පික මේ මිනිසුන්ගේ සිත් තුළ පර සම්පත් නොඉවසන සිතුවිල්ල හෙවත් ඊර්ෂ්‍යාව බොහෝ විනාශකාරී ක්‍රියාවලට මූලික හේතුවක් විය. පිරිසුදු සිත් තිබුණු මිනිසුන් අපිරිසුදු බවට පත්කොට, ප්‍රදීප මෙන් බැබළුන අය අවලස්සන අය බවට පත්කරන්නට මෙම සිතුවිල්ලට හැකි විය.
මුළු ලෝක ධාතුවම ගිනි අවුළුවා විනාශ කිරීමට තරම් මහා බලයක් ඇති ඊර්ෂ්‍යාව නමැති ගිනි පුපුර නිවා දැමීමට නම් මිනිස් සිත දහම් සිසිලෙන් සැනසිය යුතුය.
ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඉහ වහා ගිය පිරිස් මේ ලොවට සිදුකරන විනාශයන් සද්පුරුෂ ජනතාවට වැටහී යනු ඇත. ගොවිතැනක් ධාර්මික වෙළෙඳාමක් කරගෙන දියුණුවීමට උත්සාහ කරන කෙනකුට ළඟපාත අයගෙන් බාධා පැමිණෙන හැටි ඔබටත් පැහැදිලිව පෙනෙනවා ඇති. ස්වාමියාගේ ව්‍යාපාරය හොඳින් දියුණු කළොත් තමාටත් හොඳින් ජීවත්වීමට හැකිවනවා නොවේදැයි සිතන සේවකයන් අද අඩුවී ඇති බව පෙනේ.
මවුපියන්, දරුවන්, ගුරුවරුන් ශිෂ්‍යයන්, සහෝදර් සහෝදරියන් ඔවුනොවුන්ට ඊර්ෂ්‍යාවෙන් ක්‍රියා කරන අවස්ථා ඇති අතර පැවිදි උතුමන් අතරද මෙම ඊර්ෂ්‍යා සහගත සිතුවිලි ක්‍රියාත්මක වන අවස්ථා ඇත. ඊර්ෂ්‍යා කළා කියා අනෙකාගේ සැප සම්පත් නැති කළ නොහැකියි. ලැබෙන එකම ප්‍රතිඵලය බලා සිටියදීම සෑම දෙයින්ම තමා පිරිහී යෑමය.
මෙතැනදී අනුගමනය කළ යුතු එකම සහනදායි පිළිවෙත වන්නේ බුදු දහමෙන් දැක්වෙන සතර බඹ විහරණ කෙරෙහි සිත නිරතුරුව යෙදවීමයි. එමගින්, නොසෙල්වෙන නො කැළඹෙන පෞරුෂයක් තුළ තම ජීවිතය හැඩ ගස්වා ගැනීමට හැකිවෙයි.


 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Lady Gaga, Salman Khan