‍‍ විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන ‍‍ මිනිස් සමාජයේ උපත ~ විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන Best Blogger Tips

මිනිස් සමාජයේ උපත


විශ්‍රාමික විදුහල්පති, උඩුබද්දාවේ
සිරිසේන ලංසකාර

මුළු ලෝක ධාතුවම ගිනි අවුළුවා විනාශ කිරීමට තරම් මහා බලයක් ඇති ඊර්ෂ්‍යාව නමැති ගිනි පුපුර නිවා දැමීමට නම් මිනිස් සිත දහම් සිසිලෙන් සැනසිය යුතුය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඉහ වහා ගිය පිරිස් මේ ලොවට සිදුකරන විනාශයන් සද්පුරුෂ ජනතාවට වැටහී යනු ඇත. ගොවිතැනක් ධාර්මික වෙළෙඳාමක් කරගෙන දියුණුවීමට උත්සාහ කරන කෙනකුට ළඟපාත අයගෙන් බාධා පැමිණෙන හැටි ඔබටත් පැහැදිලිව පෙනෙනවා ඇති.

කල්ප ආරම්භයේ දී මේ මහ පොළොවෙහි වැජඹුණු පිරිසුදු මිනිස් සමාජයක් ගැන ත්‍රිපිටකයෙහි දික් සඟියේ එන අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙයි. බඹ ලොවෙන් පැමිණි ඒ පිරිසුදු සත්වයන් පිළිබඳත් මේ දක්වා මිනිස් සමාජයක් ඇතිවූ ආකාරයත් දැක්වෙන මෙම කල්පාරම්භ කතා පුවත විමසිල්ලෙන් බලමු.
ලෝකය හා සත්වයාගේ ආරම්භය කෙසේ වීද යන්න තේරුම් ගන්නට බොහෝ චින්තකයෝ උත්සාහ කර ඇත්තාහ.


බුදුරජාණන් වහන්සේ ද මේ පිළිබඳ අදහස් දැක්වූ අතර වැඩි උනන්දුවක් දක්වා නැත. මෙය විමුක්තියට අදාළ කරුණක් නොවන නිසාය. වඩා උනන්දු විය යුත්තේ දුක පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට බවයි උන්වහන්සේ දේශනා කර ඇත්තේ. කෙසේ වෙතත් මේ මහ පොළවේ මිනිස් සමාජයක් ඇතිවූ ආකාරය ත්‍රිපිටකයේ දික් සඟියේ අග්ගඤ්ඤ සූත්‍රයේ දක්වා ඇති ආකාරය පුදුමාකාරය.
කල්පාරම්භයේ මේ ලොව එකම දිය කඳක්ව තිබුණි. මහ ඝන අඳුරකින් වැසී තිබුණි. හිරු සඳු දක්නට නොතිබුණි. රෑ දාවල් කියා දෙයක් තිබී නැත. පිරී තිබූ දිය කඳ සිඳී ගොස් ඒ මත්තෙහි කිරි යොදයක් මෙන් පොළොව මතුපිට වර්ණයෙන්, සුවඳින්, රසයෙන් යුත් තට්ටුවක් ඉතිරි වී තිබුණි. වෙඬරු ඇතුරූ කලක් මෙන් විය. මෙසේ රස පොළොවක් පහළ වීය.
මේ කාලය වනවිට බඹ ලොවින් පැමිණි අතිපිරිසුදු සත්ව කොට්ඨාසයක් විය. ඔවුන් තුළ ස්ත්‍රී පුරුෂ භේදයක් නොතිබුණි. සිත් තුළ කාම රාග නොතිබුණු බවයි පෙන්වා දී ඇත්තේ. තරහ, ව්‍යාපාදය හෙවත් ද්වේශය ඔවුන් අතර දක්නට නොවීය. සිත් සඳරැස් මෙන් නිර්මල විය. බබළන සුළු විය.
මෙම බ්‍රහ්ම වර්ගයාට තිබුණේ හොඳ පැහැදිලි මනැසකි. විදුලි පහන් මෙන් තමන්ගේ ශරීර බබුළුවාගන්ට ඔවුන්ට හැකියාව තිබුණි. විනිවිද පෙනෙන ශරීර ඇති ඔවුහු නිතර අහසේ එහා මෙහා සැරිසැරූහ. ස්ත්‍රී පුරුෂ සම්බන්ධයක් නැත. අඹු දරු පෝෂණයක් ද නැත. ඔවුන් ජීවත් වූයේ ප්‍රීතිය ආහාරය කොටගෙනයි.
මෙසේ දීර්ඝ කාලයක් ගතවීගෙන යද්දී පෙර පින්බල ශක්තියේ හැටියට ඔවුන් තුළ උස් පහත්කම් බලපාන්නට විය. සමහරෙක් මහ පිනැතිව අතිමහත්වූ තේජසින් දීප්තියෙන් බැබළුණාහ. පින් අඩු අය පින් වැඩි අය දෙස බැලුවේ නරක් වූ සිතින් යුතුවයි. අනුන්නේ සැප සම්පත් නොඉවසන ස්වභාව හෙවත් ඊර්ෂ්‍යාව මෙලොවට පහළ වූයේ මෙතැනදි බවයි පෙනී යන්නේ.

මෙම අධිමානය, ඊර්ෂ්‍යා සහගත සිතුවිලි නිසා ඔවුන්ගේ ශරීර ප්‍රභාව බබළන ගතිය, පිබිදුණු මුහුණු, අහසින් ගමන් කරන්නට තරම් තිබුණු බල ශක්තිය ක්‍රමයෙන් පිරිහී විනාශ වන්නට විය. තවත් දිගු කාලයක් ගතවීමේදී පොළොවේ දෙපයින් ඇවිදින සත්ව කොටසක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වූහ.

අග්ගඤ්ඤ සූත්‍රයේ දක්වා ඇති හැටියට ඉර හඳ පහළ වුණේ තවත් කල්ප කාලාන්තරයකට පසුවයි. පොළවේ පඨවි රසය ආහාරය වශයෙන් භාවිත කරන්නට පටන් ගත් නමුත් තවත් කෙලෙස් වැඩෙන්නට වැඩෙන්නට පඨවි රසය ද හීන වන්නට විය. පොළොවේ හටගත් බිම් හතු වර්ග ද, අනතුරුව භද්‍රලතා නම් වැල් වර්ගය ද ආහාර වශයෙන් ගන්නට සිදුවිය.
තවත් දීර්ඝ කාලයක් ගතවනවිට බිමෙහි ඉබේ හටගත් ස්වයංජාත හැල් සහලින් ජීවිත පවත්වා ගෙන යන්නට වූහ. මෙසේ ආහාර පවා වෙනස් ආකාරයක් ගනිද්දී ශරීරවල වෙනස්කම් ද ඇතිවිය. මළ මුත්‍ර හට ගැනීම නිසා පිට කිරීමට දොරටු අවශ්‍ය විය. ගැහැනු පිරිමි භේදයක් ආරම්භ වූයේ මේ අවස්ථාවේ බවයි සඳහන් වනුයේ.
මෙසේ බොහෝ කල් ගතවීමේදී සත්වයාගේ ශරීර හැදී වෙනස් වෙමින් පැවැතුණි. ස්ත්‍රී සත්වයා දුටු පුරුෂ සත්වයාගේ සිතෙහි කාම රාගය උද්දීපනය වීමෙන් ස්ත්‍රී, පුරුෂයන් ලෙස එක්වී කම් සුව විඳීමට පටන් ගැනීම ද සිදුවිය. මෙම කම් සුව විඳීම අනෙක් අයගෙන් වසන් වී සිදුකර ගැනීමට අවශ්‍යවූ නිසා නිවෙස් සාදා ගැනීමද සිදුවිය. ගෙවල් දොරවල්, බඩු භාණ්ඩ තනාගෙන මහ පොළාවේ පදිංචිවීම ආරම්භවීමත් සමඟ සිිත කිලිටි කරන ඊර්ෂ්‍යාව, අනුන්ගේ සැප ඉවසන්නට නොහැකිවීම වැනි ගති ලක්ෂණ මේ මිනිස් සත්වයන් තුළින් විද්‍යමාන වන්නට විය. තමන් උසස්කොට තැකීමත් අනුන් පහත් කොට තැකීමත් නිසා අධික මානය, තෘෂ්ණාව, කාම රාගය වැනි කිලිටි සිතුවිලි උත්සන්න වන්නට විය. තරගකාරී ලෙස ජීවත්වීමේ අඩිතාලම වැටෙන්නට වූයේ මේ අවධියේ සිට බවයි සඳහන් වන්නේ.
වඩ වඩාත් රස බොජුන් සොයන්නට වීම නිසා අනුන්ගේ දේ පවා ගැනීමට පෙළැඹුණි. තෘෂ්ණාව, කාම රාගය වඩාත් උත්සන්න වීම නිසා මිනිසා සෑම අංශයකින්ම පහළට වැටුණි. දිගින් දිගටම ආහාරය ලෙස හැල් වී කුඹුරුවල වැවීමට අවශ්‍ය විය. ඒ කාලයේ කුඹුරු මායිම් යොදා වෙන් කරගෙන තිබුණේ නැත. අවශ්‍ය වෙලාවට හැල් වී කඩාගෙන ආහාරයට ගැනීමට ඔවුහු පුරුදුව සිටියහ. මේ අතර මෙම මිනිස් සමාජය විවිධ මතභේදයන්ට තුඩු දෙන තණ්හාධික සිදුවීම්වලට භාජනය විය.
සමහර තණ්හාධික මිනිසුන් වේල් දෙක තුනකට සෑහෙන හැල්වී එකවර ගෙනැවිත් රැස්කර තබා ගැනීමට පටන් ගැනීමත් සමඟ සියල්ලෝම මෙයට පෙළඹුණාහ. වැඩිදෙනෙක් වැඩි වැඩියෙන් රැස් කිරීමට පුරුදුවීම නිසා කෙලෙස් සිතුවිලි තවත් වැඩි විය. මෙම කෙලෙස් සිතුවිලි නිසා හැල් කෙත්වල ස්වයංජාතභාව නැතිවී ගොස් කැඩූ හැල් වී කරල් වෙනුවට නැවත හට ගැනීමක් සිදු නොවුණි. හැල් වී ලබා ගැනීමට මහන්සිවී කුඹුරු ගොවිතැන් කිරීමට සිදු විය.
මේ අයුරින් එදා ආදි කල්පික මිනිස් සමාජයේ පැවැති මහානුභාවසම්පන්න ගති නැතිවී ගිය හැටි සූත්‍ර දේශනාවේ පැහැදිලි කර ඇත. පොදු හැඟීම් නැතිවී ගොස් පුද්ගලිකත්වය සිතට නැඟුණු මිනිසාගේ අද දක්වා සිදුවූ මේ වනස්වීම් දැන් අපට වටහාගන්නට හැකිය. මේවා මෙසේ වෙනස් වන්නට කල්ප ලක්‍ෂ ගණන් ගතවූ බව සිතාගත යුතුයි.
තව දුරටත් කල්ගත වීමේදී එකිනෙකා හැල් කුඹුරු වෙන් කරගෙන මායිම් දමා ගොවිතැන් කිරීමට පටන් ගත්තේ කලින් සඳහන් කළ පස් පවු, දස අකුසල් සිත්වල බලපෑමෙහි ප්‍රතිඵලයක් වශයෙනුයි. මෙහිදී මුලින්ම පටන් ගත්තේ සොරකම බව පෙනී යයි. හැල් කුඹුරු හිමියකු අනෙකාගේ කුඹුරේ සරු ලෙස වැවී තිබුණු හැල් කරල් රහසිගතව සඟවාගෙන තම නිවෙසට ගෙනයෑම සොරකමේ ආරම්භය ලෙස සැලකිය හැකි බවයි පෙන්වා දී ඇත්තේ. මේ දුටු අනෙකකු කුඹුරු හිමියාට ඒ බව කියා අවුලක් ඇති කිරීම මුලින්ම ඇතිවූ කේලාම් කීම ලෙස සලකන්නට හැකිය. මේ විදියට ව්‍යාපාදය වැනි සිතුවිලි දිගින් දිගටම උත්සන්න වෙමින් පැවැතීම නිසා නොයෙක් ආකාරයේ වැරැදි ක්‍රියා වර්ධනය වූ හැටිත් ඒවා අද දක්වා තව තවත් වැඩිවෙමින් පවතින හැටිත් දැකගත හැකිය.
මේ කාලය වනවිට පුද්ගලික අයිතිය රැක ගැනීම, දේපොළ ආරක්ෂා කර ගැනීම, තාඩන පිඩන බලපෑම්වලින් ආරක්‍ෂා වීම, කාටත් අවශ්‍ය වී තිබුණි. වැරැදිකරුවන්ට දඬුවම් දීමටත්, යුක්තිය පසිඳලීමටත් ක්‍රම සොයන්නට අවශ්‍ය විය. රජකු තෝරා ගැනීම සිදුවූයේ මේ අවශ්‍යතා සලකාගෙනය. මහජන සම්මතයෙන් මේ සඳහා සුදුසු අයකු පත් කරගන්නට කවුරුත් කැමැත්තක් දැක්වූහ.
මහා සම්මතයෙන් තෝරාගත් පළමු රජු වූයේ අප මහා බෝධි සත්වයන් වහන්සේ බවයි සඳහන් වන්නේ. එදා මේ සමාජයේ මිනිසුන් අතර සිටි ශක්තිසම්පන්න, ස්ථානෝචිත ප්‍රඥාවකින් යුත්, දර්ශනීය රූප ශෝභාවකින් හෙබි තරුණයා මේ සඳහා තෝරා ගැනුණේ මහා සම්මතයෙනි. මනු නමින් හඳුන්වනු ලැබූ එම ශ්‍රේෂ්ඨ පුරුෂයා මහජන සම්මතයෙන් එදා රජකමට පත්කර ගනු ලැබිණි. බෞද්ධ ඉතිහාසයෙහි මහා සම්මත මනු රජු යනුවෙන් හඳුන්වන්නේ එතුමායි. මොහුගෙන් ආරම්භ වූ මනුරාජ පරම්පරාව වර්ෂ කෝටි ගණනක් මේ මහ පොළොවේ පරම්පරා ගණනාවක් වෙනස් වෙමින් පැවැතගෙන ආ බව පෙනේ.
මිනිසුන් අතර සොරකම පැතිරීයත්ම සත්ව හිංසා තවත් සිදුවිය. ප්‍රාණඝාතය, දුරාචාරය, සුරා පානය, සූදුව ආදී අකුසල් වඩාත් උත්සන්න විය. මිනිසුන්ගේ ආයුෂ ද රූප සම්පත්තිය ද සෙසු කායික මානසික යහපත් තත්ත්වයන් ද පරිහානිය කරා ඇදී යාම සිදුවිය. මේ වනවිට මිනිසාගේ ආහාරය වූයේ ධාන්‍ය වර්ග, එළවළු, පලතුරු ආදියත් පස්ගෝරසයත්ය.
සතුන් මරා මස් කන්නට පුරුදු වීමත් සමඟ විවිධ ලෙඩ රෝගවලට වඩ වඩාත් ගොදුරු වීමද සිදුවිය.
ආදි කල්පික මේ මිනිසුන්ගේ සිත් තුළ පර සම්පත් නොඉවසන සිතුවිල්ල හෙවත් ඊර්ෂ්‍යාව බොහෝ විනාශකාරී ක්‍රියාවලට මූලික හේතුවක් විය. පිරිසුදු සිත් තිබුණු මිනිසුන් අපිරිසුදු බවට පත්කොට, ප්‍රදීප මෙන් බැබළුන අය අවලස්සන අය බවට පත්කරන්නට මෙම සිතුවිල්ලට හැකි විය.
මුළු ලෝක ධාතුවම ගිනි අවුළුවා විනාශ කිරීමට තරම් මහා බලයක් ඇති ඊර්ෂ්‍යාව නමැති ගිනි පුපුර නිවා දැමීමට නම් මිනිස් සිත දහම් සිසිලෙන් සැනසිය යුතුය.
ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඉහ වහා ගිය පිරිස් මේ ලොවට සිදුකරන විනාශයන් සද්පුරුෂ ජනතාවට වැටහී යනු ඇත. ගොවිතැනක් ධාර්මික වෙළෙඳාමක් කරගෙන දියුණුවීමට උත්සාහ කරන කෙනකුට ළඟපාත අයගෙන් බාධා පැමිණෙන හැටි ඔබටත් පැහැදිලිව පෙනෙනවා ඇති. ස්වාමියාගේ ව්‍යාපාරය හොඳින් දියුණු කළොත් තමාටත් හොඳින් ජීවත්වීමට හැකිවනවා නොවේදැයි සිතන සේවකයන් අද අඩුවී ඇති බව පෙනේ.
මවුපියන්, දරුවන්, ගුරුවරුන් ශිෂ්‍යයන්, සහෝදර් සහෝදරියන් ඔවුනොවුන්ට ඊර්ෂ්‍යාවෙන් ක්‍රියා කරන අවස්ථා ඇති අතර පැවිදි උතුමන් අතරද මෙම ඊර්ෂ්‍යා සහගත සිතුවිලි ක්‍රියාත්මක වන අවස්ථා ඇත. ඊර්ෂ්‍යා කළා කියා අනෙකාගේ සැප සම්පත් නැති කළ නොහැකියි. ලැබෙන එකම ප්‍රතිඵලය බලා සිටියදීම සෑම දෙයින්ම තමා පිරිහී යෑමය.
මෙතැනදී අනුගමනය කළ යුතු එකම සහනදායි පිළිවෙත වන්නේ බුදු දහමෙන් දැක්වෙන සතර බඹ විහරණ කෙරෙහි සිත නිරතුරුව යෙදවීමයි. එමගින්, නොසෙල්වෙන නො කැළඹෙන පෞරුෂයක් තුළ තම ජීවිතය හැඩ ගස්වා ගැනීමට හැකිවෙයි.


 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Lady Gaga, Salman Khan