‍‍ විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන ‍‍ බුදුගුණාලංකාරයෙන් හෙළි වන රාජකීයයන්ගේ වත් පිළිවෙත් ~ විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන Best Blogger Tips

බුදුගුණාලංකාරයෙන් හෙළි වන රාජකීයයන්ගේ වත් පිළිවෙත්

"සත් සියදහස්‌ සත්
සත් නරනිඳුහු සමගොත්
සත් වග කරෙහි මෙත්
යුත් ව පවතිත් සිතින් මැදිහත්"

වීදාගම මෛත්‍රී හිමියන්ගේ පන්හිඳෙන් පබැඳි, මෙම සාරාර්ථවත් කව එදා විසාලා මහනුවර විසූ සමාන ගෝත්‍රැති සත්දහස්‌ සත්සිය සත්දෙනෙක්‌ වූ ලිච්ඡවී රාජ රාජාදීන්, සම මෙතින් හා උපේක්‍ෂා සහගතව ස්‌වකීය පාලන කටයුතු කළ අයුරු ප්‍රකාශ කරන්නකි. මෙබඳු පද්‍යයන් අප රටෙහි ජීවත්වන සකලවිධ වූ පාලිතයන්ට මෙන්ම, රට කරවන්නටයෑයි දායක වෙමින් රටත් ගමත් කන ඇතැම් අඳ බාලයන්ටද ආස්‌වාදයක්‌á මග පෙන්වීමක්‌ ලබාදෙයි.

අතීත ලිච්ඡවී රජ සිරිත් පිළිබඳව යළි කියවීමේ වුවමනාව අප තුළ ඇති වූයේ 2012 මාර්තු 11 වැනිදා ඉරිදා දිවයින පත්‍රයේ පළවූ සංවේදනාත්මක ලිපියක සිරස්‌ තලයකි. ඒ මෙසේය.

"කුඩු කාරයන් දූෂකයන් රෙදි අස්‌සේ

දෙස්‌පාලනය අද බලු නකුටට බැස්‌සේ

සුවිසුද්ධි දර්ශන මාර්ගයක්‌ වූ ශ්‍රී සම්බුද්ධ ධර්මය පවත්නා දේශයක දෙස්‌පාලනය බලු නකුට මෙන් ඇද නෑරෙන තත්ත්වයකට පත්වීම කොපමණ අභාග්‍යයක්‌ ද? එම සිතුවිල්ල විසින් බුදුගුණ අලංකාරයේ අන්තර්ගත රාජකීයයන්ගේ යහ පිළිවෙත් සම්බන්ධයෙන් යළි යළිත් මෙනෙහි කර බලන්නට අප පොළඹවනු ලැබීය.

කිසිවක්‌ කර කියා ගත නොහැකිවූ චූල ජනයාට වධයක්‌, හිසරුජාවක්‌ බවට නො පත් වීමට නම්, මෙරට අදූරදර්ශී, අදමිටු දේශපාලකයන් විසින් (මහත්මා දේශපාලනඥයන් නොව) අත්පොතක්‌ බවට පත්කර ගත යුත්තේ බුදුගුණ අලංකාරයයි. එහි රාජ වර්ණනාවෙහි ඇති රාජකීය ඇවතුම් පැවතුම් වත්මනට ගළපා ගැනීම බෙහෙවින්ම ඵලදායී වන්නේය.

"දුසිරිත සිත නැවති
රද නීති දත් ගුණ ඇති
මැදහත් ලෙස පැවැති
එරජ ලිච්ඡවි නිරිඳු නම් වෙති"

මෙයින් කියෑවෙන්නේ "මනු නීති, දසරද දම් අනුව යටත් වැසියන් එකකුගේවත් පැත්තක්‌ නොගෙන තම යුතුකම් අනුව එදා ලිච්චවී රජවරුන් රට පාලනය කළ ආකාරයයි. මෙදා පාලකයන්ගෙන්ද මුළු රටම අපේක්‍ෂා කරන්නේ එවැනි මානව හිතවාදී ක්‍රියාකාරිත්වයකි. මතු දැක්‌වෙන්නේ එවැනි ජනතා ප්‍රාර්ථනාවන්ට නම්‍ය වූ, එහෙත් වත්මනෙහි ඇතැම් දේශපාලකයන් තුළ නොදිස්‌නා වටිනා පිළිවෙතත් ඇතුළත් පද්‍යයකි.

"නො වළා වරද තන්
නො නැමී බසට මහ තන්
විලසින් සිය සුතන්
සතන් රකිනු ය බලා ඇම තන්"

එදා ලිච්ඡවී රාජකීයයෝ වැරදි තැන් නොවළා (නො සඟවා) මහ තැන් හෙවත් උසස්‌ අයගේ බසට නොනැමී ස්‌වකීය පිය සුත්ඹුන් හට සේම සතන්නට ද රැකවරණ ලබා දුන්හ. මෙකව රස විඳිමින් එහි අරුත් රසයේ කිමිද යන අප සිත් හි, එක්‌වර ම සනිටුහන් වන්නේ, උම්මග්ග ජාතකයේ මහෞෂධ නැණිසුරාණන්ගේ චරිතය මගින්, චිරන්තන කතාකරුවා විසින් නිරූපිත, මානව දයාවෙන් පිරිපුන් බුද්ධිමත් පාලන තාන්ත්‍රිකයාගේ ස්‌වරූපය යි.

වේදේහ රජු මිථිලා නගරයේ රාජ්‍ය පාලනය මහෞෂධ පණ්‌ඩිතයන්ට භාර දෙයි. එසඳ පණ්‌ඩිතයෝද රජුට ධවල ඡත්‍රයන් සේම දූරදර්ශීව රාජ්‍යාරක්‍ෂක ක්‍රමවේද අනුගමනය කරති. ඒ අනුව, හෙතෙම තදාසන්න රාජ්‍යයන්ට යවන චර පුරුෂයන්ට වරෙක ප්‍රකාශ කරන්නේ ඔවුන් රාජකාර්යයට නික්‌ම ගිය පසු ඔවුන්ගේ අඹු දරුවන්ව රැකබලා ගන්නා බවයි. සැබෑ පාලකයන්ගේ හැටි එසේය. එහෙත් අද අපේ සමහර දේශපාලකයෝ උස්‌ තැන් දැක හැකිළෙති. මිටි තැන් දැක පුම්බති. ඇස්‌. මහින්ද හිමියන්ගේ කවි ඇසට එවැන්නන් හසුවූයේ නිවටුන් ලෙසය. එසේ නම්, ආශ්චර්යයක්‌, පතන්නා වූ අපට, එවැනි නිවටයන්ගෙන් අත්වෙන ප්‍රගතියක්‌ නැත. නූතන දේශාපේක්‍ෂණය වන්නේ ලිච්ඡවී රජවරුන් වැනි යහපත් පාලන තාන්ත්‍රිකයන්ය. එවැන්නෝ බුදුගුණ අලංකාරයට අනුව දිලෙන සිරුරු ඇති, භාෂාවෙන් සභ්‍ය වූ, ඓස්‌වර්යයෙන් භාග්‍ය සහිත වූ, සභාවන්ට අවශ්‍යම අය වෙති.

"ගත උන් සබා මය
බස උන්ගේ සබා මය
ඉසුරෙන් සබා මය
සබා නම් උන්, උන් සබා මය"

එබඳු වූ සභා සම්මත රාජ්‍යත්වය රටකට වඩාත් ආශිර්වාදාත්මක වන්නේ දසරාජ ධර්මයෙන් සුවඳවත් වීමෙනි.

"දානං සීලං පරිච්චාගං - අඡ්ජවං මඡ්ජවං තපං

අක්‌කොධො අවිහිංසාච - ඛන්තීච අවිරෝධතා" යනුවෙන් පාළියෙහි දැක්‌වෙන දසරාජ ධර්මය යනු දානය, ශීලය, පරිත්‍යාගය, සෘජු බව, මෘදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ඉවසීම, අවිරුද්ධතාව යන පිළිවෙත් මාලාවයි. එම පිළිවෙත් දැරූ රජුන් හා සමතැන් ගැනීමට මෙලොව කිසිවකු සමත් නොවන්නේය. එවැනි රජවරුන් ලොවට ගරුවූ, රූප ශ්‍රියාවෙන් පවා දේවප්‍රතිමා රූප වැනි විශිෂ්ට පුද්ගලයෝ වෙති.

"රුසිරෙන් ලොව ගරූ
අයුරු සුරිඳුන් පිළිරූ
දසරජ දම් දැරූ
ඔවුන් සරිවෙති මෙලොව කවුරූ"

යට සඳහන් වන උපමාන්විත කවියද නූතන දේශපාලනඥයන්ට ඇඟිල්ලෙන් ඇන ආදර්ශයක්‌ දෙයි.

"සක බිම පෙරළෙමින්
ගැල බඩු නිසල කෙරෙමින්
පවතින මෙන් නොමින්
තුමු දුක්‌ විඳිති සත රකිමින්"

රටේ ජනතාව ගැලක ඇසුරූ භාණ්‌ඩ වැනිය. පාලකයන් ගැලෙහි රෝද වැනිය. ඒවා බිම පෙරළෙමින් ඉදිරියට ඇදෙන්නේ තම ගැල්හි පටවා ඇති බඩු බාහිරාදිය නිසල කෙරෙමිනි. යහපත් පාලකයෝද තමන් රකිනා ජනතාව වෙනුවෙන් සක සඟල් මෙන් ඔවුන්ගේ බර පැන දරති. දුක්‌ මහන්සි වෙති. කැප කිරීම්වල යෙදෙති. ඔවුන් රට වැසියාගෙන් අයබදු ලබා ගන්නේද මලට නො රිදවමින් හෙමි හෙමින් රොන්ගන්නා භෘංගාවලින් මෙනි. එයට නිදසුන් සපයන්නා වූ පද්‍යයක්‌ සමඟ බුදුගුණ අලංකාරයේ තවත් කවි කිහිපයක්‌ද මතු සඳහන් වේ. ඒවා අපගේ ඇතැම් පාලකාරකාදීන්ට බෙහෙවින්ම වැදගත් වනු ඇත.

"රොන් ඇරගෙන සෙමින්
යන බිඟු ලෙසින් කුසුමින්
ලොවට දුක්‌ නො දෙමින්
ගනිති අය පඬුරු පෙර නියමින්
පලගත් අතු නසා
පල කන්නවුන් විලසා
දන ගැනුමක්‌ නිසා
දහම් නො නසති දනන් වනසා

පුතු වෙත සෙනෙහසේ
පසව දුක්‌ ඉවසන සේ
ලොව රැකුමදහ සේ
විඳිති දුක්‌ සරු නොකොට සැප සේ

වතුරු වැලි බිම් පෙත
නොහැර ම කරන මෙන් තෙත
දුප්පත් සතුන් වෙත
කෙරෙති නිති මහ කුලුණු මෙත් සිත

දත් මැදලා දමන
දැහැටි දඬුමෙන් දින දින
මෙහෙ ගෙන දනන් ගෙන
පසුව නොදමති නොදන්නන් මෙන

මල් නොගෙන පල දෙන
දිඹුල් තුරුසේ ඇම තැන
කිසි කරුණක්‌ නො ගෙන
දනන් සුවපත් කෙරෙති නිතියෙන"

එදා, සප්ත අපරිහානීය ධර්මයට අනුව මෙහෙකළ ලිච්ඡවී රාජකීය ප්‍රතිපත්ති රාජාණ්‌ඩු ක්‍රමයක්‌ තුළම සිරගත කළ යුතු නොවේ. ඒවා වර්තමාන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී පාලන ප්‍රතිපත්ති අදහස්‌ සමඟ ගළපා ගත හැකිය. එසේ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල ද යහපත් වෙයි.


තබ්බෝවේ - ඡේ. ඡේ. වික්‍රමසේන


 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Lady Gaga, Salman Khan